මව මෙන් නොදැරුවත් දරුවන් තම කුසයේ
දරු හැඬුමකට කිරි නොවුනත් ගත රුහිරේ
පිටතට නොපෙනුනත් හද පිරි දරු සෙනෙහේ
පිය සෙනෙහසට සීමා බැමි නැත තැනුනේ
සීමා පවුරු නැති ඒ දරු සෙනෙහෙ නිසා
තම ගත සවිය ඩා බිඳු ලෙස දිය කෙරුවා
දූදරුවන්ගේ හෙට ලෝකය ගැන සිතලා
තම සැප සතුට සහ සැනසුම කැපකෙරුවා
අපගේ දිවිය වට කොට මහමෙර විලසේ
නැගුනේ ඔබයි රැකවල් යොදවා රිසිසේ
ඒ රැකවල් මැදින් ආ දූ දරු කැල සිත්සේ
හිනැහෙන අයුරු දකිනා පියවරු සැනසේ
මව් පිය දෙපල ඉර හඳ මෙනි දරුවන්ට
ඒ ඉර හඳ සෙවන යට දරුවනි සැනසෙන්න
මව මෙන් පියා නැතිනම් දරුවන් අසල
උන්ගේ ලොවට හිරු එළියක් නම් නොමැත
අම්මා වගේ ළඟ හිඳ සෙනෙහස නොමපා
ජිවිත සටනේ පෙරමුණ ගෙන ගුටි බැටකා
ඒ කම්කටොලු මැද හිඳ දූ දරුවන් සනසා
හිනැහෙනු දුටිමි පියවරු කඳුලැල් සගවා
නිතරම දෙසවනේ වැකුණේ මව් ගුණය
පිය සෙනෙහසත් මව් හට නොදවෙනි තැනය
පියවරු කරන කැප කෙරුමට තුති දෙන්න
මව මෙන් පියත් මතු දිනයක බුදු වන්න
සිදුවූ සිද්ධියකි මෙය මගේ මිතුරෙකුට
හැඩ වැඩ දමා ගොතනෙමි එය කවියකට
ඔහුගේ රෝද තුන යොමුකර මාවතට
සෙව්වා මුදල් ගොස් ගමනක් කුලියකට
ත්‍රී විල් රියදුරෙකි ඔහු පෙර කී ලෙසට
හිත හොඳ නිසා නිතරම ගමනේ යසට
හිතවත් කෙනෙක් ඇවිදින් දවසක් ඔහුට
ඇසුවා යන්න දුර ඇති අවමඟුලකට
රෑ බෝවෙලයි වෙන්නෙ අපහට යන්ට
අවුලක් නෑ නේද මල්ලියේ එය උඹට
හිතවත් මිතුර කීවා පහදා මොහුට
නෑ බෑ බසක් කවදත් නැතිවිය ඔහුට
දෙදෙනා ගියා රෑ බෝවී මළගමට
මහා රෑ යාමේ පිටවුනි ආපසු එන්ට
ආවත් දෙදෙනා මහා රෑ වීරයෝ ලෙසට
පාලුයි පාර ඇත ජරමර මඟ දිගට
හදවත දෙගිඩියාවෙන් පිරුණත් බයට
අතහැර දමා බිය දෙදෙනා එන කලට
දුටුවා ලියක් ඉන්නා බැස මහ මඟට
සිහිවුනි දෙවියෝ අසුවූ විට මෙය ඇසට
මෝහිනි නමැති හොල්මන සිහිවිය මුන්ට
දෙදෙනා බියවෙලා සැරසෙයි පැන යන්ට
මොනවා වුනත් හරි නෑ දෙදෙනාගේ හිතට
කෙල්ලෙක් නිසා හිත නෑ මඟහැර යන්ට
මහා රෑ ලෙඩක් හෝ කරදරයක් කාට
විය හැක මිතුර හොඳ නෑ කර ඇර යන්ට
හිතුවා දෙදෙන රිය නවතා විමසන්ට
හනිකට බ්රේක් ගැසුවා මිතුරා තදට
ඔහුගේ රථය නවතන ඒ ඇසිල්ලට
දිවවිත් කෙල්ල නැවතූ මේ රිය දෙසට
ගොඩවූවාලු සමඟින් මල්ලක් බරට
බිය වී ඩා බිඳුත් නැගුනලු දෙදෙනාට
ත්‍රී විල් මිතුරා සමගින් ගිය අනිකාට
ආවේ නැතිලු වචනත් එවෙලේ හොඳට
වෙහෙසක් දරා දිරි ගෙන දෙදෙනා හිතට
හිතුවලු මොකක්දෝ මේ වෙන්නේ අපට
දිව ආ අඟන තබලා මල්ලත් හැඩට
උස්සා ඔලුව වටපිට බලනා කලට
බියවුන දෙදෙන සැනෙකින් නෙත ගැටුනවිට
බෙරිහන් දෙමින් පැන්නලු රථයෙන් බිමට
බය දෙදෙනාගේ දෙපිටින් ගියේ මර හඬට
දමලා ඇගේ බෑගය විගසින් බිමට
ආවලු පාගලා අපේ මිතුරා හැටට
නැවතුනේ ආව පසුවලු දෙදෙනම ගමට
අවදිව ඊට පසු දින උදයම මොහුට
ඕනෑ වුනා සිදුවුන දේ දැන ගන්ට
ගත්තා ඇමතුමක් ඔහුගේ මිතුරෙකුට
මිතුරා සිටියේ කිට්ටුව ඒ මාවතට
හලෝ මචං කොහොමද කොල්ලෝ උඹට
මාර වැඩක් සිදුවුනි ඊයේ මෙමට
එනවිට උඹේ ගේ අසලින් රෑ දෙකට
දුටුවෙමි ගෑනියක් හිටියා බැස මගට
නැවතූ විටදි ඇය කවුදැයි විමසන්ට
දුවගෙන ඇවිත් ඈ ගොඩ විය මගේ රියට
බයවුනු අපිත් ඇරලා ආවා හැටට
සිදුවුනු දෙයක් ඇත්නම් කියපන් මෙමට
සිනහා නගා මිතුරගේ මිතුරා තදට
උණු උණුවේම ලැබුනා පුවතක් අපට
නෑ කිසි දෙයක් උඹලට නම් බය වෙන්ට
කීවා පහදලා වුන දේ රෑ දෙකට
අපගේ අසල්වැසි ඇසිලින් අක්කාට
හිටියා දුවක් තරමක් පෙනුමයි ඇහැට
ඊයේ රැයේ ඈ පැන ගොස් ඇති බවට
පැතිරී ගියා රාවය ගම හැම තැනට
උඹලා එද්දී ඊයේ ඈ දුටු බවට
මට සහතිකයි බිය වන්නේ තොපි කුමට
ඈ දිව ඇවිත් නැග්ගේ උඹගේ රියට
ඈගේ පෙම්වතා යැයි වැරදිලා ඇයට
පුන්සඳ පෑයූ ලෙස දුරුකර ඝණ අඳුර
සියපත පිපෙන ලෙස පසුකර මඩ වඟුර
ලොවටම බෙදා දම් රස සිඳ බිඳ සසර
පෑයූ හිරු ඔබයි බුදු හිමියනි අඹර
දඹදිව් තලේ ඉපදී රජ සැප හැරදා
බුදු බව පසක් කෙරුවේ කෙලෙසුන් පරදා
මහා කරුණාව පතුරා සත්‍යය පහදා
දෙසුවා දහම් සත හට කඳුළැල් පිසදා
සෙත සැලසුවා අසරණ වූ මිනිසුන්ට
මඟ පෙන්නුවා මේ සසරෙන් ගැලවෙන්ට
දුක උසුලනා මිනිසුන් ලොව සැනසෙන්ට
දෙසු දම් රසය ලොව පැතිරී ඉතිරෙන්ට
ගුණ කඳ බුදු හිමිගේ නෑ කෙලවර වෙන්නේ
ඒ ගුණ ගයන්නට නෑ වචනත් දන්නේ
එනමුත් හිමිට ගෞරවයක් විලසින්නේ
බුදු හිමි දෙසූ මඟ අප සැම දෙන ගන්නේ
සියලුම ලෝ සතන් සැනසෙන වෙසක් දිනේ
දෙදහස් හයසීය වසරයි අද සමරන්නේ
ඒ සැමරුමට හැමදෙන මුල් තැන ගන්නේ
ඒ සමගින්ම මේ ටික සිහියට ගන්නේ
දන්සල් දීම, සැරසිලි වෙසඟේ කරන
මල් සහ පහන් බුදු හිමියන් හට පුදන
මේ හැමදේම ආමිස පිදුමට ගැනෙන
මුල් තැන දෙමුද ප්‍රතිපත්තියටත් නිතින
බුදු හිමි දෙසූ ලෙස ගෞරවයක් හිතක
ඇත්නම් හිමි කෙරෙහි නොසැලී හැම කලක
යයි නම් හිමි දෙසූ මඟ නොඇලී දුකක
එය පෙන්වාවි ගෞරව බුදුනට සිතක
සියලුම දෙනා අද දින පින්කම් කරනා
ලැබිලා බුදු දහම් සඟ රුවනේ සරණා
මේ ලෝ තලේ සියලුම සත හට වසනා
වේවා සෙතක් පුරවා සිත් මෙත් කරුණා
දස මාසයක් කුස තුල අප බර උසුලා
දුක් විඳ දරා අප මෙලොවට බිහි කරලා
සිරුරේ දුවන රුධිරය කිරි කර පොවලා
ඇති දැඩි කළා දරුවන් හැමදේ පුදලා
අම්මා නමැති දෙවඟන මෙලොවට වැඩලා
හැඩ වැඩ කළා අපගේ ජිවිත ඔපලා
නිවසේ බුදුන් ලෙස ඇය හට නම් තබලා
බුදුහිමි පවා ඇත මව් ගුණ කඳ දෙසලා
උදයේ සවස මවගේ දෙපතුල අල්ලා
කිවත් අම්මගේ ගුණ කඳ වැඳ වැටිලා
සත්තයි ඇති නොවෙයි මව් සෙනෙහස ගයලා
උල්පත වගෙයි සෙනහස නැත වියෙකීලා
අම්මා වසාගෙන නිමි නැති ගුණ ගලලා
සැනසූ ලොවම කරුණාවෙන් හිත පුරලා
මෙතරම් උතුම් ගුණ කඳ අද සිහි කරලා
කිමදෝ මවට එක දිනයක් වෙන් කරලා
ඇගේ මුළු දිවිය දරුවන් හට කැප කරලා
දරුවන් නිසා කඳුළැලි සයුරක් හෙලලා
වසරක් තිස්සේ තම මව අමතක කරලා
කුමටද මිතුර මව් උපහාරය පුදලා
අසරණ මහලු අම්මා ඇදගෙන කුදලා
ගෙන ගොස් ඇගේ පුතු මව මඩමට දමලා
මව් දින සැමරුමට ඔහු අද දුව පැනලා
කුමටද මෙවන් උන් මව් හට වැඳ පුදලා
බටහිර දේසේ මිනිසුන් දින වෙන් කරලා
සමරා සතුටු වන මුත් මව් ගුණ ගයලා
කුමටද අපිත් උන් පසු පස්සේ වැටිලා
සැමදා ගයමු ගුණ මව දෙපතුල වැඳලා
මව හට පියා හට දින දින වෙන් කරලා
ජලයට ගහ කොළට තව තව දින හදලා
කුමටද දවස් තුන් සිය හැට පහ බෙදලා
නොසිතා සිටියි නම් මේ ගැන අපි උඹලා
දින වෙන් කෙරුම නෑ නොවැ වැදගත් වීලා
වටිනවා සැලකුවොත් සැමදා සිහි කරලා
මව සහ පියා දෙපලම සතුටින් තියලා
සැමදා රකිමු පරිසරයත් වෙර යොදලා
කවියට හිතේ ඇතිවුන ලැදිකම හන්දා
ඉඳ හිට නැඟුණු සිතුවිලි කවි පද බැන්දා
ඒ කවිවලට ඉඩකඩ මදිවද මන්දා
ගොඩගේ කවි කෑලි බ්ලොගයක් ඇත කැන්දා
මෙතුවක් කලක් ගෙතු කවි පලවී ඇත්තේ
ගොඩයා ලියූ වංහුං බ්ලොග් එක පැත්තේ
මින් මතු ඒ පිටුවේ කවියට ඉඩ නැත්තේ
මේ අඩවියෙන් කවියට ඉඩකඩ ගත්තේ
සිතුවිලි හදේ කවි පද වැල් අමුණාවී
ඒ කවි වලින් මේ පිටුවම පිරවෙවී
දොස් දුටු විටදී මා හට අනුකම්පාවී
අවසර දෙන්න ගෙතුමට කවි තව රසවී