Tuesday, May 17, 2011

ත්‍රී විල් පටලැවිල්ල

සිදුවූ සිද්ධියකි මෙය මගේ                මිතුරෙකුට
හැඩ වැඩ දමා ගොතනෙමි එය           කවියකට
ඔහුගේ රෝද තුන යොමුකර                මාවතට
සෙව්වා මුදල් ගොස් ගමනක්             කුලියකට


ත්‍රී විල් රියදුරෙකි ඔහු පෙර කී               ලෙසට
හිත හොඳ නිසා නිතරම ගමනේ              යසට
හිතවත් කෙනෙක් ඇවිදින් දවසක්            ඔහුට
ඇසුවා යන්න දුර ඇති                  අවමඟුලකට


රෑ බෝවෙලයි වෙන්නෙ අපහට              යන්ට
අවුලක් නෑ නේද මල්ලියේ එය               උඹට
හිතවත් මිතුර කීවා පහදා                     මොහුට
නෑ බෑ බසක් කවදත් නැතිවිය                 ඔහුට


දෙදෙනා ගියා රෑ බෝවී                     මළගමට
මහා රෑ යාමේ පිටවුනි ආපසු                   එන්ට
ආවත් දෙදෙනා මහා රෑ වීරයෝ            ලෙසට
පාලුයි පාර ඇත ජරමර මඟ                     දිගට


හදවත දෙගිඩියාවෙන් පිරුණත්              බයට
අතහැර දමා බිය දෙදෙනා එන               කලට
දුටුවා ලියක් ඉන්නා බැස මහ                 මඟට
සිහිවුනි දෙවියෝ අසුවූ විට මෙය            ඇසට


මෝහිනි නමැති හොල්මන සිහිවිය         මුන්ට
දෙදෙනා බියවෙලා සැරසෙයි පැන         යන්ට
මොනවා වුනත් හරි නෑ දෙදෙනාගේ       හිතට
කෙල්ලෙක් නිසා හිත නෑ මඟහැර          යන්ට


මහා රෑ ලෙඩක් හෝ කරදරයක්               කාට
විය හැක මිතුර හොඳ නෑ කර ඇර           යන්ට
හිතුවා දෙදෙන රිය නවතා                  විමසන්ට
හනිකට බ්රේක් ගැසුවා මිතුරා                  තදට


ඔහුගේ රථය නවතන ඒ                    ඇසිල්ලට
දිවවිත් කෙල්ල නැවතූ මේ රිය               දෙසට
ගොඩවූවාලු  සමඟින් මල්ලක්                 බරට
බිය වී ඩා බිඳුත් නැගුනලු                  දෙදෙනාට


ත්‍රී විල් මිතුරා සමගින් ගිය                    අනිකාට
ආවේ නැතිලු වචනත් එවෙලේ              හොඳට
වෙහෙසක් දරා දිරි ගෙන දෙදෙනා            හිතට
හිතුවලු මොකක්දෝ මේ වෙන්නේ           අපට


දිව ආ අඟන තබලා මල්ලත්                    හැඩට
උස්සා ඔලුව වටපිට බලනා                      කලට
බියවුන දෙදෙන සැනෙකින් නෙත     ගැටුනවිට
බෙරිහන් දෙමින් පැන්නලු රථයෙන්         බිමට


බය දෙදෙනාගේ දෙපිටින් ගියේ මර         හඬට
දමලා ඇගේ බෑගය විගසින්                      බිමට
ආවලු පාගලා අපේ මිතුරා                       හැටට
නැවතුනේ ආව පසුවලු දෙදෙනම            ගමට


අවදිව ඊට පසු දින උදයම                     මොහුට
ඕනෑ වුනා සිදුවුන දේ දැන                       ගන්ට
ගත්තා ඇමතුමක් ඔහුගේ                   මිතුරෙකුට
මිතුරා සිටියේ කිට්ටුව ඒ                        මාවතට


හලෝ මචං කොහොමද කොල්ලෝ          උඹට
මාර වැඩක් සිදුවුනි ඊයේ                         මෙමට
එනවිට උඹේ ගේ අසලින් රෑ                   දෙකට
දුටුවෙමි ගෑනියක් හිටියා බැස                    මගට


නැවතූ විටදි ඇය කවුදැයි                     විමසන්ට
දුවගෙන ඇවිත් ඈ ගොඩ විය මගේ             රියට
බයවුනු අපිත් ඇරලා ආවා                        හැටට
සිදුවුනු දෙයක් ඇත්නම් කියපන්               මෙමට


සිනහා නගා මිතුරගේ මිතුරා                       තදට
උණු උණුවේම ලැබුනා පුවතක්                   අපට 
නෑ කිසි දෙයක් උඹලට නම් බය               වෙන්ට
කීවා පහදලා වුන දේ රෑ                           දෙකට


අපගේ අසල්වැසි ඇසිලින්                     අක්කාට
හිටියා දුවක් තරමක් පෙනුමයි                   ඇහැට
ඊයේ රැයේ ඈ පැන ගොස් ඇති                   බවට
පැතිරී ගියා රාවය ගම හැම                        තැනට


උඹලා එද්දී ඊයේ ඈ දුටු                              බවට
මට සහතිකයි බිය වන්නේ තොපි               කුමට
ඈ දිව ඇවිත් නැග්ගේ උඹගේ                     රියට
ඈගේ පෙම්වතා යැයි වැරදිලා                    ඇයට





3 comments:

  1. නියම කවි ටික අයියේ....තාම පිච්චෙනවා.(ගින්දර වගේ)


    ඇවිදින් කෙල්ල නැඟුනයි රථයකට මනා
    දු‍ටුවයි අනේ කළු කුමරයි මහ සෝනා
    ඒකයි යන්නේ බිය වී පසු පස නොබලා
    බිය විය යුතුද සිතකට සෙලවෙන නිතිනා

    ReplyDelete
  2. අප්පට සිරි නියමෙට ලියලා තියනවා ......... පට්ටයි .....

    ReplyDelete
  3. @ පිසාචයා -
    සහතික ඇත්ත මලයා උඹ කියන්නේ
    බැස්සම මඟට අපි නිතරම දක්කිනේ
    මූණට,කොණ්ඩයට විකාර කරන්නේ
    දුටුවිට ඔවුන් යක්කුයි සිහි කෙරෙන්නේ

    @ කල්හාර - බොහොම ස්තුතියි සහෝ....

    ReplyDelete