Monday, May 16, 2011

වේවා සෙතක් පුරවා සිත් මෙත් කරුණා.........................


පුන්සඳ පෑයූ ලෙස දුරුකර ඝණ                 අඳුර 
සියපත පිපෙන ලෙස පසුකර මඩ              වඟුර 
ලොවටම බෙදා දම් රස සිඳ බිඳ                 සසර 
පෑයූ හිරු ඔබයි බුදු හිමියනි                        අඹර


දඹදිව් තලේ ඉපදී රජ සැප                      හැරදා 
බුදු බව පසක් කෙරුවේ කෙලෙසුන්         පරදා 
මහා කරුණාව පතුරා සත්‍යය                   පහදා 
දෙසුවා දහම් සත හට කඳුළැල්                 පිසදා 


සෙත සැලසුවා අසරණ වූ                  මිනිසුන්ට 
මඟ පෙන්නුවා මේ සසරෙන්          ගැලවෙන්ට 
දුක උසුලනා මිනිසුන් ලොව          සැනසෙන්ට 
දෙසු දම් රසය ලොව පැතිරී             ඉතිරෙන්ට 


ගුණ කඳ බුදු හිමිගේ නෑ කෙලවර      වෙන්නේ 
ඒ ගුණ ගයන්නට නෑ වචනත්                දන්නේ 
එනමුත් හිමිට ගෞරවයක්               විලසින්නේ 
බුදු හිමි දෙසූ මඟ අප සැම දෙන            ගන්නේ 


සියලුම ලෝ සතන් සැනසෙන වෙසක්      දිනේ 
දෙදහස් හයසීය වසරයි අද                සමරන්නේ 
ඒ සැමරුමට හැමදෙන මුල් තැන           ගන්නේ 
ඒ සමගින්ම මේ ටික සිහියට                  ගන්නේ 


දන්සල් දීම, සැරසිලි වෙසඟේ                   කරන 
මල් සහ පහන් බුදු හිමියන් හට                   පුදන 
මේ හැමදේම ආමිස පිදුමට                    ගැනෙන 
මුල් තැන දෙමුද ප්‍රතිපත්තියටත්                 නිතින 


බුදු හිමි දෙසූ ලෙස ගෞරවයක්                   හිතක 
ඇත්නම් හිමි කෙරෙහි නොසැලී හැම         කලක 
යයි නම් හිමි දෙසූ මඟ නොඇලී                 දුකක 
එය පෙන්වාවි ගෞරව බුදුනට                    සිතක  


සියලුම දෙනා අද දින පින්කම්                   කරනා
ලැබිලා බුදු දහම් සඟ රුවනේ                   සරණා
මේ ලෝ තලේ සියලුම සත හට                වසනා 
වේවා සෙතක් පුරවා සිත් මෙත්                කරුණා

2 comments:

  1. සුභ වෙසක් මංගල්‍යයක් වේවා..!!

    ReplyDelete
  2. පරෙවි රෑන් දසතින් විත් බුදු බණ පද අහ ඉන්න
    අජරාමර නිවන් සුවය අපි සැමටම ලඟා වෙන්න
    මෙතුවක් කල පව් මින් මතුවදි සිදු නොවන්න
    ගෞතම මුණි සමිඳුනි මටහැමදාමත් පිහිට වෙන්න

    මේක මං අ.පේ ත් ලියපු කවියක්..

    ReplyDelete